Saturday 27th of April 2024

English Tamil
Advertiesment


රනිල් පරදන එජාප කුමන්ත්‍රණය


2024-03-24 1364


ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද,මහ මැතිවරණයද කියන ප්‍රශ්නයට දැන් බොහෝ දුරට උත්තරයක් හම්බවෙලා තියනවා.හැබැයි තවමත් රාජපක්ෂලා ට්‍රයි එක අතෑරලා නෑ.රටේ රාළ දිගටම කිව්වේ රනිල් ඉස්සෙල්ලා යන්නේ ජනාධිපතිවරණයට කියලා.ඒ වගේම රනිල් ඒ ජනාධිපතිවරණයට ඉරිපත් වෙනවා කියලත් රටේ රාළ කිව්වා.ගෝඨාභයගේ ආණ්ඩුවේ අගමැතිධූරය බාරගත්ත දවසේ ඉඳන් මේ දක්වා රනිල් ආපු ගමනේ රනිල්ට පරාජයන්ට වඩා තියෙන්නේ ජයග්‍රහණ.

ඒක ඇතුලේ රටටත් ජයග්‍රහණ තියනවා.ඒක නෑ කියන්න තරමට රටේ රාළ කුහකත් නෑ.ඇත්තටම රනිල් ගෝඨාභයගේ අනුප්‍රාප්තික ජනාධිපති නොවුනා නම් මේ රටේ ඉරණම මීට වඩා ගොඩක් වෙනස් විදිහකට ලියවෙන්න ඉඩ තිබුණා. රනිල් රට යථාවත් කළා කියන එක කුහක නැතිව ඕනිම කෙනෙකුට පිලිගන්න වෙනවා.රටේ රාළ අද කතා කරන්න හදන්නේ මේ කාලය ඇතුලත රට ලබපූ ජයග්‍රහණ ගැන නෙවෙයි.රනිල් පුද්ගලයෙක් විදිහට ලබපු ජයග්‍රහණ ගැන.

ගෝඨාභය ආණ්ඩුවේ අගමැතිකම බාරගන්න රනිල් තීරණය කරන්න ඇත්තේ තනි පුද්ගලයෙක් විදිහට. ඕනි නං ඒ තීරණය පිටිපස්සේ මෛත්‍රි වික්‍රමසිංහ ඉන්න ඇති.ඊට එහා රනිල්ට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. රනිල්ගේ ඒ තීරණයට එජාපය උනත් ලොකු බලපෑමක් කළා වෙන්න බෑ.සමහරවිට රනිල් තීරණය අරගෙන එජාපයට කියන්න ඇති.තනි පුද්ගලයෙක් විදිහට පාර්ලිමේන්තුවේ උසුළු විසිළුවලට ලක්වෙමින් හිටිය රනිල් ඒ පාර්ලිමේන්තුවේම අගමැති වෙලා,රටෙත් ජනාධිපති වෙනවා කියන්නේ සුළුපටු දේශපාලන ගේමක් නෙවෙයි.

ඒ කියන්නේ මතුවුන දේශපාලන අර්බුදය හරියටම කළමණාකරණය කරලා තියෙන්නේ රනිල්.අර්බුදය කළමණාකරණය කිරීමේදී රනිල්ගේ තියන දේශපාලන පරිනතකම, අද්දැකීම් සහ ආත්ම විශ්වාසය ඒකට ලොකු පිටුබලයක් සපයන්න ඇති.රනිල් එතනදී බාරගත්තේ සුළුපටු අභියෝගයක් නෙවෙයි. බංකොලොත් කරපු රටක් ආපහු කෙලින් කරන එක ලේසි නෑ.හැබැයි රනිල් ඒක කළා.ඒ වෙනුවෙන් රනිල් ජනප්‍රිය නොවන තීරණ ගොඩක් ගත්තා. 

රනිල් දෙපාරක් හිතන්නේ නැතිව බදු බර ජනතාව මත පැටෙව්වා. කොහොම හරි විදේශීය ප්‍රේරණ ගෙන්න ගත්තා.සංචාරකයෝ ඇදගත්තා,අපේ විදේශ සංචිතය ශක්තිමත් කළා.කෙලින්ම IMF ගියා.එදා IMF යන්න එපා කියපු මාලිමාව පවා දැන් කියන්නේ මාලිමා ආණ්ඩුවක් යටතෙත් IMF ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා කියලයි. ඇත්තටම සජිත්ට සහ අනුරටත් යන්න තියෙන්නේ රනිල් එළිපෙහෙලි කරපු පාරේම තමයි.

කොහොම උනත් ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් විදිහට රනිල් තරඟ කරන බව ස්ථිරයි.දැනට ඉදිරිපත්වෙලා ඉන්න අපේක්ෂකයින් දිහා බැලුවහම එයාලා අතරින් ටැලන්ට්ම පුද්ගලයා රනිල්.ප්‍රශ්නය තියෙන්නේ රනිල්ගේ තියන ටැලන්ට් එකෙන් විතරක් ඡන්දය දිනන්න පුළුවන්ද කියන එකයි.ඒකත් එක්ක රනිල් ජනාධිපතිවරණයේදී ලොකු අවධානමකට මුහුණ දෙනවා. අපේක්ෂකයෙක් වෙන්න පුද්ගලිකව රනිල්ගේ පැත්තෙන් සම්පුර්ණ කරන්න ඕනි දේවල් සියල්ල රනිල්ගේ පැත්තෙන් සම්පුර්ණ කළත් රනිල්ට ඒ අවධානම තියනවා.

රනිල්ගේ මැතිවරණ කැම්පේන් එක ගොඩක් වෙලාවට මැයි දිනයත් එක්ක පටන් ගනී.ඒ එක්කම ආර්ථික සහන සහ බදු සහන පැකේජයක් එන්න පුළුවන්.ඒත් රනිල් අපේක්ෂකයෙක් විදිහට එද්දී රනිල්ට අවශ්‍ය ground සපෝට් එක අරන් දෙන්න එජාපයට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තවමත් තියනවා.ඒ වැඩේට තවම එජාපය සුදානම් වෙන්න හිතලාවත් නෑ. එජාප නායකයෝ කියලා ඉන්න අය දැනට කරන්නේ රනිල් ඉස්සරහා ලකූණු දාගන්න වැඩ හදන එක මිසක් රනිල් මුහුණ දෙන දේශපාලන අභියෝගය තේරුම් අරන් ඒකට අවශ්‍ය වැඩ හදන එක නෙවෙයි.

රනිල් ground එකට ගෙනියන්න ඕනි network එක එයාලා හදන්නේ නෑ. තවමත් එජාපයට යාන්ත්‍රණයක් නෑ. එයාලා හිතාගෙන ඉන්නේ ෂෝෂල් මීඩියාවලින් ගේමක් ගහන්නද දන්නේ නෑ.මෙතනදී සමාජ මාධ්‍යවලින් කරන්න පුළුවන් කොටසක් තියනවා.හැබැයි මැතිවරණ කැම්පේන් එකක පක්ෂ යාන්ත්‍රණයකට කරන්න පුළුවන්දේ ෂෝෂල් මීඩියා යුනිට්වලට හිතාගන්නවත් බෑ.ඒ යාන්ත්‍රණය දුවන්න දක්ෂ මිනිස්සු ඕනි. මැතිවරණයක් දිනන්න බලපාන මූලික සාධක ටිකක් තියනවා.
එකක් අපේක්ෂකයා.පුද්ගලයෙක් විදිහට ගත්තොත් මේ අපේක්ෂකයින් එක්ක තියද්දී වැඩිම සුදුසුකම තියෙන්නේ රනිල්ට. ඊළඟට අපේක්ෂකයා කැම්පේන් එක වෙනුවෙන් යොදන හෞතික සම්පත් ප්‍රමාණයත් තීරණාත්මකයි.ඒවා ගොඩක් වෙලාවට මුදල් එක්ක ගැට ගැහෙන දේවල්.දැනට ඉන්න අපේක්ෂකයන් දිහා බලද්දී මුදල් ප්‍රශ්නයක් කාටවත් නෑ.කාටත් ඇතිවෙන්න සල්ලි තියනවා.ඊළඟට මැතිවරණය වෙනුවෙන් හදන ඡන්ද කැම්පේන් එක තීරණාත්මකයි.

ඒකට ජනතා ආකර්ෂණය දිනාගෙන ඒවා ඡන්ද බවට පත්කරන්න පුළුවන් වෙන්න ඕනි.කැම්පේන් එක ආරම්භයේ පටන් අවසානය දක්වාම දවසින් දවස කැම්පේන් එක උඩට උස්සන්න ඕනි.ඒකට කැමිපේන් එක යන අතරතුර හරියට කැම්පේන් එක තක්සේරු කරගන්න පුළුවන් වෙන්නත් ඕනි.මෙතනදී තමන්ගේ කැම්පේන් එක විතරක් නෙවෙයි අනිත් අපේක්ෂකයින්ගේ කැම්පේනුත් තක්සේරු කරගෙන අවශ්‍ය වෙනස්කම් කරන්න වෙනවා. 

ඊළඟට තීරණාත්මක වෙන්නේ මේ කැම්පේන් එක පොලොවට ගෙනියන්න ඉන්න බලවේගය.ඒක උඩ ඉදන් පහලම මැතිවරණ ඒකකය වෙන කොට්ඨාශය දක්වා විහිදුණු එකක් වෙන්න ඕනි. ඒකට අවශ්‍ය කරන්නේ පුද්ගලයෝ. පුද්ගලයෝ කිව්වට නිකං කඳං නං වැඩක් නෑ.ඇත්තටම ඕනි සංවිධායකයෝ.අපේක්ෂකයාගේ පණ්විඩය ජනතාව අතරට ගෙනියන්න පුළුවන් දක්ෂ සංවිධායකයෝ ඕනි.

ඇත්තටම ඒක physically කරන්න ඕනි වැඩක්.අවසානයේ ඡන්දදායකයා ඡන්ද පොලට ගෙනත්,ඡන්ද ටික පෙට්වලට දාගෙන,ඡන්දය ගණන් කරලා ප්‍රතිපල නිකුත් කරන තුරුම මේ යාන්ත්‍රණය ශක්තිමත්ව තියෙන්න ඕනි.යාන්ත්‍රණය සම්බන්ධ කාරණයේදී මාලිමාව අනික්වාට වඩා ඉදිරියෙන් ඉන්නවා.සජබයත් යමක් කරගන්න පුළුවන් තැනක ඇති.රනිල්ට ප්‍රශ්නය තියෙන්නේ ඔතන.ඒක හදන්න ඕනි රනිල්ගේ මූලිකත්වයෙන් හදන සන්ධානය ඇතුලේ.

හැබැයි ඒක ඇතුලේ එජාපය ශක්තිමත්ව ඉන්න ඕනි.එජාපට ශක්තිමත් යාන්ත්‍රණයක් තිබීම මෙතනදී අනිවාර්යයි.මොකද රනිල්ගේම වෙච්චි මිනිස්සු ඉන්නේ යූඑන්පියේ.හැබැයි දැනට ඒ මිනිස්සුන්ට නායකත්වය දෙන එජාප නායකයෝ අභියෝගයට සරිලන විදිහට වැඩේ කරන්නේ නෑ. කරන එකමදේ කුලල් කා ගැනීම විතරයි.රනිල්ට ඕනි මැතිවරණ යාන්ත්‍රණය කවුරුවත් හදන්නේ නෑ.

කවුරුත් බලාගෙන ඉන්නේ රනිල් හදන සන්ධානයෙන් ගොඩ යන්න. මෙච්චර කල් රාජපක්ෂලාගෙන් ගොඩ යන්න බලාගෙන හිටියා. ඇත්තටම මේ උදාසීනකම රනිල්ට පරාජය ගේන එක ස්ථිරයි. සමහරවිට රනිල් පරද්දන කුමන්ත්‍රණයක් එජාපය ඇතුලේම තියනවා වෙන්නත් පුළුවන්.වැඩ කරන්න පුළුවන් අයටත් ඉඩ නොදෙන මාෆියාවක් එජාපය ඇතුලේ තියනවා.ඒත් ඒ ඇත්ත දකින්න තවමත් රනිල්ට බෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
Advertiesment